Monday 4th of May 2026

English Tamil
Advertiesment


පාර්ලිමේන්තු සංයුතිය අනුව විශ්වාස භංගය සම්මත කරනු බැහැ..!


2018-03-18 14870

(සුජිත් මංගල ද සිල්වා)

පාර්ලිමේන්තුවේ සංයුතිය සහ රජයේ අභ්‍යන්තර තත්වයන් අනුව අගමැතිවරයාට හෝ ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංගයක් ඉදිරිපත් කර කිසිසේත් ජයග්‍රහණය කළ නොහැකි යැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරද සහ අධි නීතීඥ ලාල් විජේනායක මහතා පැවසීය.

අධි නීතීඥ ලාල් විජේනායක මහතා මේ බව පැවසුවේ රටේ ආණ්ඩුකරණය සම්බන්ධයෙන් “lankanewsweek” වෙත විශේෂ ප්‍රකාශයක් කරමිනි.එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අධි නීතීඥ ලාල් විජේනායක මහතා මෙසේ ද කීය.

වත්මන් පාර්ලිමේන්තුවේ තිබෙන සංයුතිය සහ යහ පාලන ජාතික රජය නියෝජනය කරන ඒ ඒ දේශපාලන පක්ෂවල අභ්‍යන්තර තත්වයත් දේශපාලන අරමුණු වගේම දේශපාලන උපාය උපක්‍රම අනුව බැලුවාම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට හෝ ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට කිසිදු හැකියාවක් ඇත්තේ නැහැ.

සුළු පිරිසකගේ අත්සන්වලින් යුතුව එවැනි විශ්වාස භංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළත් කවදාවත් එම විශ්වාස භංග යෝජනාව සම්මත කර ගැනීමට නොහැකි බව කිව යුතුයි.අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව  ඉදිරිපත් කරනවාය කියන මේ විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තුවේදී ජය ගැනීමට නම් ඊට පක්ෂව ඡන්දය ලබා දිය යුතු බවට එක්සත් ජාතික පක්ෂය නිල වශයෙන් තීන්දු කළ යුතුයි.

එක්සත් ජාතික පක්ෂය සිය නායකයාට සහ පක්ෂයට එරෙහිව කිසිදු අවස්ථාවක එවැනි තීන්දුවක් නොගනු ඇති අතර  එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන් සිය අභිමතය පරිදි පක්ෂයේ තීන්දුවට එරෙහිව යමින් මේ විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය දුන්නොත් පක්ෂයේ විනය සහ නිතිය උල්ලංඝණය කළේය යන චෝදනාව මත ඒ අය පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපා හැර අනතුරුව ඒ අයගේ මන්ත්‍රීකම ද අහිමි කළ හැකි නිසා එම මන්ත්‍රීවරුන් ද විශ්වාස භංගයට පක්ෂව ඡන්දය ලබා දෙනු ඇතැයි කිසිසේත් උපකල්පනය කළ නොහැකියි.

මේ විශ්වාස භංග යෝජනාව කියන  මාතෘකාව දේශපාලන කරළියේ මතු කර තිබෙන්නේ රජය අභ්‍යන්තරයේත් විපක්ෂයේත් සිටින විවිධ පාර්ශවයන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයට අනුව ඒ අයට විවිධ දේශපාලන වාසි ලබා ගැනීම සහ ඒ අයගේ දේශපාලන අරමුණු වෙනුවෙනුයි.විශේෂයෙන් මේ විශ්වාස භංගය කියන බිල්ලා පෙන්වා විපක්ෂයේ වගේම ආණ්ඩුවේ ඇතැම් පිරිස් ද ආණ්ඩුව යම් පීඩනයකට නතු කර තබා ගැනීමේ දේශපාලන උපක්‍රමයේ යේදී සිටිනවා.

රජයේ අස්ථාවර භාවයක් පිළිබඳව විවිධ තර්ක මතු වුණත්, එවැනි අස්ථාවර භාවයක් බාහිරින් පෙනීමට තිබුනත් ඇත්ත වශයෙන්ම රජයේ කිසිදු අස්ථාවර භාවයක් ඇත්තේ නැහැ.ඊට හොදම උදාහරණය ඉතිහාසයේ පළමු වතාවට මේ රජය යටතේ අය වැය යෝජනාවලි තුනක්ම තුනෙන් දෙකක (2/3) වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත වීමයි. එමෙන්ම විශාල  ආන්දෝලනයකට තුඩු දුන් අතුරුදන් වුවන් පිළිබද පනත ඇතුළු සෑම පනතක්ම මේ රජය යටතේ පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණේද 2/3 ක වැඩි ඡන්දයෙනුයි. මේ අනුව පැහැදිලි වන්නේ මේ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ ඡන්දවල හිඟයක්, ප්‍රශ්නයක් හෝ සැකයක් නොමැති බවයි.

රජයේ ප්‍රතිපත්තිවල  සහ ආණ්ඩුකරණයේ ද අර්බුදයක් නොමැති අතර එවැනි අර්බුදයක් ලෙස රටට ජනතාවට පෙනීමට තිබෙන්නේ  ආණ්ඩුව අභ්‍යන්තරයේ සිටින නායකයින් ඇතුළු පුද්ගලයින් අතර තිබෙන අර්බුදයයි.විදේශවලින් ගත් ණය සහ පොළිය ගෙවීම පිළිබද ප්‍රශ්නයක් ඇතත් රටේ ආර්ථික අර්බුදයක් ද  නොමැති බවට තිබෙන හොදම සාධකය වන්නේ  ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම ආයෝජන ප්‍රමාණය 2017 අවුරුද්දේදී රටට ලැබීමයි.

Advertiesment